ඒරන් ස්වාර්ට්ස්: අන්තර්ජාලයේ දරුවා

2021 ජනවාරි 22
aron_swartz
by ටී. රවිහාර

ඒරන් ස්වාර්ට්ස් යනු ඇමරිකානු ජාතික පරිගණක වැඩසටහන්කරුවෙකු සහ හැකර්වරයෙකි. ඔහු කතෘවරයෙකු සහ දේශපාලනික ක‍්‍රියාධරයෙකු ලෙසද ප‍්‍රකටයි. පරිගණක තාක්ෂණයට බොහෝ දායකත්වයන් ඔහු විසින් ලබා දුන් අතර දැනුම යනු ලෝකයේ ජනතාවට පොදු දෙයක් බවත් ඒවා අතලොස්සක් දෙනෙකුට පමණක් භාවිතා කිරීමට සහ මෙහෙයවීමට අයිතියක් නැති බව තරයේ විශ්වාස කළ සහ ඒ වෙනුවෙන් ක‍්‍රියා කළ අයෙකි. විකීපීඩියා නිදහස් විශ්ව කෝශය තැනිමට ඔහු දායක විය. එසේම ඩිජිටල් පුස්තකාල සංකල්පය හඳුන්වා දිමෙහිද ඔහු පුරෝගාමියෙකි.

‘‘ගරිල්ලා විවෘත ප‍්‍රවේශ ප‍්‍රකාශනය’’ "Guerilla Open Access Manifesto" ඔහුගේ හඳුන්වා දීමකි.

‘‘ලෝකයේ සමස්ත විද්‍යාත්මක දැනුම... උරුමය... වූ කලී ඩිජිටල්කරණය වීම වැඩි වෙමින් තිබෙන අතර එය අතලොස්සක් පුද්ගලික සමාගම් විසින් අගුලූ දමා ඇත...’’

විවෘත ප‍්‍රවේශ ව්‍යාපාරය මෙයට එරෙහිව යමින් විද්‍යාඥයින්ට සිය හිමිකම් ප‍්‍රකාශන වලට අත්සන් නොතබන ලෙසත් ඒවා පොදු භාවිතය සඳහා ඕනෑම අයෙකුට ප‍්‍රවේශ වීමට අන්තර්ජාලයට ඇතුල් කිරීම සහතික කිරීම සඳහා සටන් වැදුණි.

පර්යේෂණ පත‍්‍රිකා විශ්වවිද්‍යාල තුළ සඟවා තබා ගැනීමට එරෙහි වූ ඔහු තමා අධ්‍යයනයේ නියැලූණු එම්අයිටී විශ්ව විද්‍යාලයෙහි පර්යේෂණ පත‍්‍රිකා හැක් කරමින් ඒවා නිදහස් කරන්නට යෑමේදී අත් අඩංගුවට පත් විය. එක්සත් ජනපද අධිකරණය ඔහුට වසර 50ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියනයක දඩයක් නියම කරනු ලැබූහ. ඔහුව නිදහස් කර ගැනීමට එක්සත් ජනපදය පුරා සහ ලෝකයේ සිටි ඉහළම පෙලේ තාක්ෂණික බුද්ධිමතුන් පෙල ගැසුණද එය ඉෂ්ට කරගත නොහැකි විය. අවසානයේ ස්වාර්ට්ස් දිවි නසා ගත්හ.

දැනුම සමස්ත ශිෂ්ඨාචාරයක පොදු අයිතියක් බව තහවුරු කිරීමේ අරගලයේදී ඔහු සිය ජීවිතය පරදුවට තැබූහ. මේ ලින්ක් එකෙහි දැක්වෙන වාර්තා චිත‍්‍රපටය ඔහු ගේ ජීවිතය අළලා සකස් කරන ලද චමත්කාරජනක සිනමා දැක්මකි. හෙට ලෝකයට අවශ්‍ය වන්නේ දැනුම යන කාරණයේදී මිනිසාගේ පොදු අයිතිය ඉහළින් තැබූ ඒරන් ස්වාර්ට්ස්ලාගෙන් පිරුණු ශිෂ්ඨාචාරයකි.